“Valiyak Festival” 2021

As the exquisitely beautiful Kandy Esala Perahera 2021 came to an end enthralling a world, all eyes turn towards Sri Maha Vishnu Devalaya for the “Valiyak Festival” also known as the dance of “Valiyak” , it is a “Shanthikarma” (a traditional ancient ritual) known as ” Hadda Valiyakuma”. Performed by a group of people who did not take part in the Procession, to bless all those who took part and to get rid of all evil. This ritual is done for seven days at a strech evening till dawn. Accordingly the ritual was performed in Sri Maha Vishnu Devalaya from the last day of the festival (23) till today (30).

ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් පහන් කරමින් ගෞරවාදර අභිමානයට පත් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය නිමාවත් සමග මීළඟට හඬ ඇසෙන්නේ මහනුවර ශ්‍රි මහා විශ්ණු දේවාලයෙනි. ඒ “වලියක් මංගල්‍යය” හෙවත් වලියක් නැටුම, හද්දා වලි­ය­කුම නමින් පවත්වනු ලබන ශාන්ති කර්මයෙනී. පෙරහරට කිසිදු සහභාගිත්වයක් නැති ශිල්පීන් විසින් පෙරහරට සහභාගි වූ ශිල්පීන් ඇතුළු සියලුම දෙනාගේ වස් දොස් දුරු කරනු පිණිස සත් දිනක් පුරාවට අලුයම පහන් වන තුරු පවත්වනු ලබන මේ ශාන්තිකර්මය පෙරහර අවසාන දින සවස් යාමයේ සිට පුරා සත් දිනක් පැවැත්වේ. ඒ අනුව මෙවර 2021 ඇසළ පෙරහර අවසානය සනිටුහන් වූ පසුගිය 23 වෙනි දා සිට අද(30) දක්වා මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලය තුල පවත්වන ලදී. වලියක් ශාන්ති කර්මය පැවත එන්නේ රජ දවස සන්නස් මගින් උරුමය ලද එක් පරම්පරාවක් මගිනි. මාවනැල්ලේ වාසිංහ පණික්කයලෑගේ දෙවනගල පරම්පරාව වලියක් මංගල්‍යය සඳහා හිමිකම උසුලයි. සිරිදරා, පුංචිකිරා, සිල්පා, වැනි පරම්පරා නියෝජනය කරමින් පැවති මෙම පරම්පරාවේ වර්තමානයේ නියෝජනය කරනුයේ අටවෙනි පරම්පරාවේ වාසිංහ සුමනතිස්ස නිශ්ශංක දෙවනගල මහතාය. ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඉදිරියේ පෑ නර්තන හා වාදන දස්කම් විස්කම් දැක රජු විසින් “වාසිංහ” නාමය ලබා දී ඇති බවටත් සන්නසක් හා පඨා බෙරයක්ද සමග වලියක් මංගල්‍යයේ හිමිකම ද ලබා දී ඇති බවටත් වර්තමාන පරපුර අත සාක්ෂි තිබේ. පෙරහරට දායකත්වය ලබා දෙන රාජත්වය, දියවඩන නිලමේ තුමා, සතරමහා දේවාල බස්නායක නිලමේවරු, නිලධාරීන්, ශිල්පීන්, අලි ඇතුන්, පෙරහර නරඹන්නන් ඇතුලු මොනයම් ආකාරයෙන් හෝ පෙරහරට දායකත්වය ලබා දුන් සියලු දෙනාගේ වස් දොස් දුරු කිරීම සඳහාත්, එළඹෙන වසරේ පෙරහරට ආශිර්වාද ප්‍රාර්ථනය ඇතිවත් වලියක් නැටුම පුරාණයේ පටන් අද දක්වාම පවත්වනු ලබයි. View Facebook post
Scroll to Top